Friday, January 24, 2014

මේ පැත්තෙන් යන විට මාව බලලා යන්න එන්න

- සුනිල් හෙට්ටිආරච්චි
හෙට්ටිආරච්චි මහත්තයෝ කොහෙද මේ පාන්දරම දුවන්නේ?
මං මෙ ඇඟ බහින්න දුවනවා.
ඇඟ බහින්න බහින්න තරම් ඇඟක් හෙට්ටිආරච්චි මහත්තයට තියනවයැ. ඔහොම දිව්වොත් බල්ලොත් පස්සෙන් එළවං ඒවි.
කිව්වත් වගේ හෙට්ටිආරච්චි මහත්තයාගේ ඇඟට බලු තඩියෙක් බුරාගෙන පැන්නා. ඔහුගේ වේගය තවත් වැඩි වුණා. ඇඳ සිටි බාච්චු කලිසම වැටෙන්නට නොදී අතකින් අල්ලා ගත් හෙට්ටිආරච්චි මහත්තයා බොහෝ දුර දුව ගොස් හති අරින්නට පටන් ගත්තේ කනුවක් බදාගෙන.
ඔහු හති අරින අන්දම පවා අප සිතට ගෙන ආවේ අපමණ සතුටකි. කෙටියෙන්ම කිව්වොත් ඔහු කල්පනා කර කර සිටියත් හොඳටම සිනහ පහළවීමට එය ඇතිය.
බෝඩිම ටෙලි සිතුවමේ ඉහත මා කී දර්ශනය මගේ මතකයන් අතරට පැමිණ නැවත මා කුල්මත් කරවීය. එහි ඔහු රඟපෑවේ සිය නමිනි.
මොකද තනිවම හිනා වෙන්නේ?
අප ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්නගේ හඬින් මගේ මතකය වර්තමානයට ගෙන ආවේය.
නෑ මට සුනිල් හෙට්ටිආරච්චි මහත්තයාගේ නාට්‍යයක සීීන් එකක් මතක් වුණා.
ඒක තමා කොච්චර දක්ෂ නළුවෙක්ද? ඒත් හිටි ගමන් සද්ද නැති වුණානේ. අවුරුදු ගාණකින් නාට්‍යයකින් තියා ඇඩ් එකකින්වත් දැක්කේ නැහැ.
අමිත් දුක් වෙයි.
අපි සුනිල් හෙට්ටිආරච්චි නම් ජනප්‍රිය නළුවා සොයා ගියෙමු. ඔහුගේ රංගනයෙන් ලේ පිරිසුදු කර නොගත් අයකු වෙතොත් උගහටය. සිය කෙසඟ සිරුර ආභරණයක් කොට ගත් හෙතෙම හැරුණත් ප්‍රේක්ෂකාගාරය සිනහ උපදවන්නට තරම් දක්ෂයකු විය.
දැන් කිට්ටුයි මගේ හිතේ.
අමිත් කීය.
මාලිගාවත්ත ෆ්ලැට්ස්වලනේ සුනිල් මහත්තයා ඉන්නවා කිව්වේ. රම්‍ය පෙදෙසින් හැරුණු ගමන් තියෙන ෆ්ලැට් එකේ දෙවෙනි තට්ටුවේ. කාගෙන් හරි අහලා බලමු.
අහන්න දෙයක් නැහැ. අර තියෙන්නේ ගෙදර.
‘සරසවියෙන්’ එනවා කිව්වාම පුදුමාකාර සන්තෝසයකින් තාත්තා හිටියේ. එයාට දුවලා පැනලා ඇවිදින්න පුළුවන් කාලේ හැම සතියකම ‘සරසවිය’ කියවනවා.
එසේ කියමින් ගෙදර දොරටුව විවර කළේ හෙට්ටිආරච්චි මහත්තයාගේ එක් දියණියකි.
ඇවිදින්න පුළුවන් කාලේ කිව්වේ?
දැන් තාත්තට ටිකක් ඇවිදින්න අමාරුයි. දැන් අවුරුදු හැත්තෑ හයක්නේ. පහුගිය කාලේ තරමක් අසනීප වුණා.
සාලායේ කෙරවල අසුනක සුවපහසු ලීලාවෙන් හෙට්ටිආරච්චි මහත්තයා වාඩි වී සිටියි.
ඔයාගේ නම මොකක්ද? මීට කලින් අපි හම්බුවෙලා නැහැ නේද?
ඔහු සෙමින් ඇසුවේය.
එදා පැවැති ජවසම්පන්නකම ඔහුගෙන් ගිලිහී ඇති වග දැනගත් මට ඇති වූයේ අති මහත් වූ කණගාටුවකි.
ඉතින් කොහොමද හෙට්ටිආරච්චි මහත්තයෝ?
ගෙදරටම වෙලා තමයි ඉන්නේ. අසනීප හින්දා මුකුත් කරගන්න බැහැ. අවුරුදු තුනකින් විතර රඟපෑවේ නැහැ.
ඔයා හිටපු චිත්‍රපට, නාට්‍ය ඕන තරම් ආයෙත් පෙන්වනවා නේද? ඒවා අයෙත් බලද්දී මොකද හිතෙන්නේ? දුකයිද?
එවර ඔහු නිහඬ විය.
තාත්තා ඔහොම්මම තමා. එක පාරටම සද්ද නැතුව ඉන්නවා. එයා රඟපාපුවා පෙන්නුවත් ඒවායේ එයාව අඳුනගන්න බැරිව ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා.
හෙට්ටිආරච්චි මහත්තයාගේ අනෙක් දියණියක වන ආශා සාලයට විත් පැවසුවාය.
යාළු මිතුරෝ දන්නේ නැද්ද අසනීපයි කියලා?
ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. තාත්තා හරි ආසයි එයාගේ පැරැණි යාළුවෝ බලන්න එනවට. තාත්තා එක්ක කටයුතු කළ බොහෝ දෙනා තාත්තා උන්නද මලා ද කියලා දන්නේ නැතුව ඇති. මං ඒ කතාව කිව්වෙ තාත්තට උපහාර උත්සව තියන්නවත්, ආධාර ඉල්ල ගන්නවත් නෙවෙයි. අපි තාත්තට හොඳට සලකනවා. එයා ලෙඩ වුණත් අද පිළිවෙලකට ඉන්නවා පේනවනේ.
ඇය කීවා නිවැරැදිය. හෙට්ටිආරච්චි මහත්තයා සිටින්නේ ඉතා පිළිවෙළටය.
පුතා මං ජොබ් එකක් කළා. එක දවසක් මගේ ලොක්කා මං රඟපාන නිර්මාණයක් දැකලා ‘තමුසෙට මේවා හරියන්නේ නැහැ. යනවා දිගටම රඟපානවා’ කියාල මගේ අස්වීමේ ලියුම දුන්නා. හොඳ වෙලාවට එතකොට මට දිගටම රඟපාන්න වැඩ ලැබුණා.
විකට චරිතවලටමද?
මං මුලින්ම රඟපෑවේ නාවල මගේ ගමේ වෙසක් නාට්‍යවල. එතකොට මං රැවුල එහෙම කපලා හොඳ හැන්ඩියා. ඒත් රැවුල වවන්න පටන් ගත්තු දවස්වල ඉඳලා එක දිගට ලැබුණේ විකට චරිත. හැබැයි ඉඳල හිටලා චණ්ඩියකුගේ චරිතත් කළා. මාව විකට නළුවකු හැටියට සැබෑ ජීවිතයේදී දකිනවට මං අදටත් අකමැතියි. මං දරුවන් හතර දෙනෙකුට උගන්නලා හොඳ තත්ත්වයට ගෙනාපු තාත්තා කෙනෙක්. විකටයකුට එච්චර දෙයක් කරන්න බැහැනේ. මගේ නෝනා අවුරුදු ගණනකට කලින් නැතිවුණා හදිසියේ. ඔහු සුසුමක් පිට කරයි.
මන්දගාමීව ඔහු කියූ කතාව අර්ථවත්ය. හෙට්ටිආරච්චි මහත්තයාට ඉස්සර වෙච්ච සිදුවීම් මතකද?
වැඩියෙම මතක නැහැ. දෙක තුනක් කියන්නම්. චාලි චැප්ලින්ගේ දුව ජෙරල්ඩීන් චැප්ලින් එක්ක මං මදර් තෙරේසා එකේ රඟපෑවා. ඒක මට අමුතුම අත්දැකීමක් වුණා. එක පාරක් ඉන්දියාවේ ගිය වෙලාවක හෙලෝ ටී. වී. මෑන් හව් ආර්යූ කියලයි ඒ රටේදී මට වීසා එකට සීල් එක ගැහැව්වේ. ඔවුන් මාව ඉන්දියාවේ තිබුණ ටී. වී. චැනල් එකක දැකලා තියෙනවා. ඒ වගේම පිටකොටුවෙදි මගේ පොකට් එකට ගහලා. මං හරිම අකරතැබ්බයකටනෙ මුහුණ දුන්නේ. නළුවකු හැටියට ජනප්‍රිය නිසා බස් එකේ යන්න කියලා සල්ලි ඉල්ල ගන්නත් මොකක්ද වගේ. මං පයින්ම මාලිගාවත්තට ආවා.
මේ මොහොතේ නිවසේ සිටියේ හෙට්ටිආරච්චි මහත්තයාගේ දියණියන් දෙදෙනා වන ආශා සහ නිශානිගේ පවුලේ උදවිය පමණි. පුතුන් රාජකාරී කටයුතුවලට ගොසිනි.
අමිත් සේනාරත්න සේයාරුව ගත් පසු අප එතැනින් නික්ම යාමට සැරසිණ.
‘මේ පැත්තෙන් ගියොත් ආපහු මාව බලලා යන්න එන්න’
හෙට්ටිආරච්චි මහත්තයාගේ හැගුම්බර වචන අප දෙසවනෙහි දෝංකාර දෙන්නට විය.

No comments:

Post a Comment