උෂ්ණාධික දවසක වුණත් අපේ ගේ සිසිලයි
අතුරුගිරිය ඔරුවල නිස්කලංක පරිසරයක ඉදිවුණු අනූෂාගේ සොඳුරු නිවහනට අප ගොඩවදින විට සවස හතර පසු වී තිබිණි. අනූෂාත් ඇගේ මවත් අප පිළිගත්තේ ඉතාම ආදරයකින් හා ළෙන්ගතුකමකිනි. අනූෂා ඇගේ ආදරණීය ආගන්තුක සත්කාර පිරිනමන අතරතුරම ඇගේ සොඳුරු නිවහනේ සුන්දරත්වය ගැන කතා බහ කරන්න අමතක කළේ නැහැ.
“මට මතකයි මේ නිවෙස මෙතැන ඉදිකරන්නට පෙරාතුව අපි පදිංචිව හිටියේ රාජගිරිය ප්‍රදේශයේ. මගේ තාත්තාගේ සහෝදර සහෝදරියන් එක්ක රාජගිරියේ ගෙවී ගිය මගේ ළමා කාලය හරිම සුන්දරයි. පසු කලෙක තාත්තටත් ඔහුගේ සහෝදර සහෝදරියන්ටත් අවශ්‍ය වුණා වෙනවෙනම නිවෙස් තනාගෙන ජීවත්වෙන්න. ඒ අනූව තමයි තාත්තා ඔරුවල පිහිටි පර්චස් 24 ක් පමණ වන මේ ඉඩම මිලදී ගෙන නිවෙස ගොඩනගන්නේ. මට මතකයි මේ ඉඩමේ හරියට වෙරළු, අඹ, කජු ,කොස් ගස් තිබුණා. අද වෙන කොට නම් තාත්තා හදපු නිවෙස සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තිබෙනවා. ඒ ගසුත් නැහැ. මගෙත් මගේ අයියාගේත් කැමැත්ත මත නව නිවෙසක් මෙතැන ඉදිවුණා.
ඒ අනූව බලන කල අනූෂාගේ නිවෙසේ සොඳුරු ස්ථාන රැසකි. නිවෙසේ විසිත්ත කාමරය කෑම කාමරය හා පැන්ට්‍රිය කදිම නිමාවෙන් හා කදිම පිළිවෙළකින් යුක්තය. දුටුවන් නෙත් එක හෙළා පැහැර ගන්නා මැලේෂියන් තේක්ක දැව සෝෆාව හා සූරියමාර දැවයෙන් තැනූ කවිච්චිය අනූෂාගේ නිවෙසේ විසිත්ත කාමරයේ සුන්දරත්වය තවතවත් වැඩි කරයි. පෞරාණික ගෘහ භාණ්ඩවලින් අනූන විසිත්ත කාමරය නිසාම නිවෙසට අභිමානවත් බවක් ප්‍රෞඪත්වයක් එක්වේ.
“මම පුංචි කාලෙ ඉදළම පෞරාණික දේවල් එකතු කරන්න ආසයි. ඒ ගෘහ භාණ්ඩ තුළින් ඉස්මතුවෙන ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානයට පෞරුෂත්වයට මම කැමැතියි. මටත් මගේ අම්මාටත් නිවෙසේ පෞරාණික බවක් ඉස්මතු කරන්න අවශ්‍ය වුණා. මේ තිබෙන වටිනා පෙට්ටගම්, අල්මාරි, බෙර, පහන් හැම දෙයක්ම වගේ මගේ සීයාගෙන් මට උරුම වූ දේවල්”. අනූෂා විසිත්ත කාමරය පුරා වූ පෞරාණික සිහිවටන අපට පෙන්වයි.
අනූෂාගේ කෑම කාමරය සැරැසෙන්නේ වටිනා තේක්ක දැවයෙන් අලංකාර වූ කැටයම් සහිත විශාල මේසයකින්. ඒ වගේම අනූෂාගේ නිවෙස ඇතුළත සිසිල් බවින් යුක්තයි. දැඩි රස්නය පවතින දවසක වුවද නිවෙසේ සියලු දොර ජනෙල් වසා දමා පිටතට ගොස් නිවෙසට ඇතුළු වූ විට සීතල බවක් දැනේ. එයට හේතුව ලෙස අනූෂා පැවැසුවේ ඔවුන් නිවෙසට භාවිතා කර ඇති ‘හෝම් මැජික්’ ටයිල් වර්ගය බවයි.
විසිත්ත කාමරයේ සිට අනූෂාගේ නිදන කාමරය හා අනෙකුත් කාමර සහිත දෙවන බිම් මහල යා වන්නේ අලංකාර කුඹුක් දැවයෙන් තැනූ පියගැට පෙළකිනි. එහි අත් වැටද කුඹුක් දැවයෙන් තනා මනාව ඔප කර ඇත. තරප්පු පෙළ නැඟ එන විට හමුවන්නේ ඇතෙකුගේ අනුරුවකි. ඒ අනූෂාට උපන්දින තෑග්ගක් ලෙස ලැබුණු රාජාය.
‘'මම මගේ නිවෙසේ කැමැතිම ස්ථානයක් තමයි මගේ නිදන කාමරය. නිදන කාමරයත් එක්කම තවත් නිදන කාමර දෙකක් මේ බිම් මහලේ තිබෙනවා.මගේ නිදන කාමරයට මායිම්ව තිබෙන්නේ සදළු තලය. එතැන ට ගියාම නිවෙස අවට ඇති ප්‍රදේශයම දකින්නට ලැබෙනවා.ඒ නිස්කලංක පරිසරය දිහා බලාගෙන ඉන්න එක මට සතුටක්. මගේ නිදන කාමරයට ඉහළින් මගේ ව්‍යායාම් කටයුතු සඳහාත් නර්තන පුහුණුවීම් කටයුතු සඳහාත් වෙන්වුණූ ස්ථානය (ජිම් එක) සකසා තිබෙනවා.
පුරුද්දක් විදිහට අම්මත් මමත් උදේම නැගිටිනවා. මුහුණ සෝදලා බුදු පහන තියලා සරස්වතී පූජාව පවත්වලා
බුදු කාමරයේ ඉදන්ම එතැන තිබෙන ජනෙල් කවුළුව අවට රොක් වෙන ගිරා රංචුවට කැම දානවා. එතනින් තමයි අපි දවසේ කටයුතු අරඹන්නේ.'’ අනූෂා පැවැසුවේ බුදු කාමරයට දිස්වෙන ගසක හරි අපූරුවට වසා සිටන ගිරවුන් කීප දෙනෙක් අපට පෙන්වමිනි. ‘චූටි පෙත්තෝ බත් කෑවද?'අසමින් අනූෂා උන් හා හරි ආදරයෙන් කතා කරයි.
No comments:
Post a Comment