Friday, January 24, 2014


නන්නත්තාරයන්ගේ ජීවිත කතාව ඇඩ්‍රස් නෑ

මේක කාටත් හිතාගන්න බැරි සන්ධ්‍යාවක්. නාසිවත්ත පුරාම පුදුම කලබලයක් තිබුණේ. වත්තේ හතර අතට ලණු ඇදලා, වෙසක් කූඩු හැඩයේ බම්බු ලයිට් හයි කරලා. මුඩුක්කු ගෙවල් පේළියේ නම් කවුරුවත්ම ඉන්නව පෙනුණේ නෑ. ඒත් දොරට දාලා තිබුණු සාරි රෙද්ද අස්සෙන් දැල්වුණු පුංචි එළියක් දෙකක් නම් ඉඳ හිටලා දැක්කා. වත්ත මැද්දේ දිගින් දිගටම පේළියට තියලා තිබුණේ කකුල් දෙකේ දිග බංකු කෑලි.
ඒක මත ඉඳගෙන ඉන්න පිරිස් දැක්කම පරණ ඩිස්පෙන්සරියක බෙහෙත් ගන්න පෝළිමේ ඉඳගෙන ඉන්න කට්ටියක් මතක් වුණා. වටේ හැම තැනින්ම විවිධ වර්ගයේ කැමරා අටවලා.
ඉස්සරහින් තිබුණු විශාල නුග ගහ යට බැම්ම මත ඉබේ හැදුණු වේදිකාව අද හැබෑම වේදිකාවක් වෙලා. ඒ මදිවට ඒ ළඟින්ම එල්ලපු දැවැන්ත තිරය මත මෙන්න මෙහෙම සටහනකුත් තිබුණා.
“අහසත් නෑ පොළොවත් නෑ ඇඩ්‍රස් නෑ (No Address) Shooting ඉවරයි...”
මටත් හිතාගන්න බැරි වුණා. ඇඩ්‍රස් නැති තැනකට කොහොම ආව ද කියලා. ආරාධනා පත්‍රයේ ඇඩ්‍රස් එක්ක දාල තිබුණට ඒ ඇඩ්‍රස් එකෙන් අපි මංමුළා වුණා. අන්තිමේ ඇඩ්‍රස් නැති නාසිවත්තේ හිට්ලර්ටම කතා කරලා තමයි තැන හොයා ගත්තේ.
මෙතන හිටියේ මහ අමුතු පිරිසක්. නම්වල හැටියට නම් උන් ඔක්කෝටම ඇඩ්‍රස් නැති එකම හොඳයි කියලා හිතුණා. නාසිවත්තේ හිට්ලර්, හිඟා කන චැප්ලින්, සද්ගුණවත් පින්සාර, මුඩුක්කුවේ සන්ධ්‍යා, ඇඹිලිපිටියේ කරා, ගුම්බෑයමේ ගෝරිං, සුසා, කපිල, ජානකී, කාලිංග, නතාලියා, ස්ථානාධිපති, සිරිමල්, ගොඩ්ඩිං, සුන්දර, ගංගියා, සේන මල්ලි, විස්කි, අබිලිස්, රම්බෝ, උපාසක, මුම්ටාස්, පින්සාර හාමිනේ, ශ්‍රියා, ඇතුළු තව හුඟාක් අය. ටිකක් වෙලා යනකොට මේ හැමෝම අපේ ඉස්සරහට එන්න ගත්තා.
ඔවුන් ඇවිත් කියපු කරපු දේවල්වලට සමහර වෙලාවට බයත් හිතුණා.
සමහරු ඇවිල්ලා කිව්වේ අනිත් කෙනා එනකම් අපිට අර දැවැන්ත තිරය දිහා බලාගෙන ඉන්න කියලයි.
ඇත්තටම ඒක බලත්දි අපිට ඉන්න තැනත් අමතක වුණා. නාසිවත්තත්, නාසිවත්තේ කට්ටියත් අබිලික් වුණාට තිරයෙන් පෙන්නපු කෑලි ටික නම් පංකාදුයි. කතාවේ තැනින් තැන කෑලි මෙහෙම නම් සම්පූර්ණ කතාව කොහොම වෙයි ද කියලා හිතුණා.
අන්තිමේදී මේ ඇඩ්‍රස් නැති කතාවේ ඇඩ්‍රස් එක කියන්න ආවෙත් නාසිවත්තේ හිට්ලර්ම තමයි. ඔහු පාතාල මැරයෙක්. සිරගත වෙනකොට හරියටම ඔහුගේ පෙනුම ඇඩොල්ෆ් හිට්ලර් වගේම තමයි.
ඒත් ඔහු හිරෙන් නිදහස් වෙන්නේ ‘වෙනස් මිනිහෙක්’ වෙන්න හිතාන. ඒක හරි යයි ද? මගේ ළඟ උන්නු කෙනෙක් ඇහුවා.
අනේ මන්ද? මම කිව්වා...
පින්සාර මුදලාලි නම් හරිම දානපතියෙක්. හොඳ උපාසක මහතෙක්. හිට්ලර්ව මෙහෙයවන්නේ ඔහුයි කියලා හැබැයි කවුරුත් දන්නේ නෑ.
ඒ අස්සේ චැප්ලිනුත් එනවා. ඔහු අංග විකල ගොළු හිඟන්නෙක්. ‘චාලි චැප්ලින්’ විදියට රඟපාලා තමයි මුදල් එකතු කරලා ජීවත්වෙන්නේ. ‘සුසා’ කියන්නේ චැප්ලින්ගේ රූමත් දියණිය.
පියාගේ හිඟන රස්සාව ගැන නොදන්නා ඇය නීති ශිෂ්‍යාවක්. සුසාගේ අත පතාගෙන එන කපිල නීති ශිෂ්‍යයෙක්. ඔහු පින්සාර මුදලාලිගේ පුතා බව සුසා දන්නේ නෑ.
මේ අතරේ සන්ධ්‍යාත් අරහෙට මෙහෙට කැරකැවෙනවා. සන්ධ්‍යා නාසිවත්තේ රෑ මනමාලි. සුසා සන්ධ්‍යාගේ දියණියක් කියලා දන්නේ ගොළු චැප්ලින් විතරයි.
මේ ඔක්කොම අස්සේ ඇඹිලිපිටියේ ‘කරා’ නාසිවත්තට කඩා පනිනවා. පරණ චණ්ඩි නුරුස්සන මේ අලුත් චණ්ඩියා වෘත්තිය මැරයෙක්, සල්ලාලයෙක්. ගොඩ්ඩිං, සිරිමල්, සුන්දර, ගංගියා, සේන මල්ලිලා අහිංසක වීදි දරුවන්.
ඒත් ඔවුන්ගේ අනාගතය අහිංසක නෑ නේද? මට හිතුණා.
ඔව්... ඇත්ත තමයි. මේ ඉන්නේ අනාගත පාතාලයේ උරුමකරුවන්. මළපොතේ අකුරක්වත් නොදන්නා.
විස්කි, රම්බෝ, මුම්ටාස්, අබිලින් මේ ඔක්කොම ගුබ්බෑයමේ හිඟන්නෝ.
මේ ඔක්කොම අපිට හමුවුණේ ඇඩ්‍රස් නැති තැනකදී. ඒත් හෙට දිනයේ මේ හැමෝටම ඉතාම සුපිරි ඇඩ්‍රස් හිමි වෙනවා කියලා අපිට හිතුණා. ඒ දවස උදාවෙන්නේ ‘ඇඩ්‍රස් නෑ’ තිරගත වුණදාට. අපි හිටියේ නාසිවත්තේ හිට්ලර්ගේ හෙවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී ගේ නවතම සිනමා පටය වන ‘ඇඩ්‍රස් නෑ’ මාධ්‍යයට විවර කළ මුල්ම හමුවේ. දැන් අපි ඉස්සරහ ඉන්නේ අපේ සුපුරුදු මාධ්‍ය හිතමිතුරා. ජැක්සන් ඇන්තනී.
“ඇඩ්‍රස් නෑ වනාහි ජනප්‍රිය වීම සඳහා කෙරෙන ගුණාත්මක චිත්‍රපටයක්. ඔහු කියනවා.
මේක රස්තියාදු වචනයක් තමයි, අපි මේ රස්තියාදු වචනය ලොකු සමාජ දේශපාලනික අර්ථයක් දෙනවා. කවුද ඇඩ්‍රස් නැති මිනිස්සු? සිඟන්නන්, වීදි දරුවන්, වීදි වෙසඟනන්, කුලියට මිනීමරන්නන්, සොරුන්, මංකොල්ලකරුවන්, ගැට කපන්නන් මේ අයට ජන සංගණනවලට අහුවෙන්නේ නෑ.
ඡන්ද ලයිස්තුවලට ඇතුළත් වෙන්නේ නෑ. මන්ත්‍රීලා නෑ. ග්‍රාම සේවකලා නෑ. පල්ලි නෑ. පන්සල් නෑ. ඉස්කෝල නෑ. ලුම්පන් පන්තියට හෙවත් නන්නත්තාර නිර්ධන පන්තියට හෙවත් පාදඩ පන්තියට අලුත් වචනයක් “ඇඩ්‍රස් නෑ”
දැන් ඉන්නේ ඇඩ්‍රස් නැතුව රඟපාන කට්ටිය. ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, සබීතා පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, දර්ශන් ධර්මරාජ්, ශේෂාද්‍රි ප්‍රියසාද්, අඛිල ධනුද්ධර, මාධවී වත්සලා, හේමාල් රණසිංහ, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි, චින්තක වාස්, රාජා ගනේෂන්, ශ්‍රිමන්ති නිලුෂා, කුමාරි මුණසිංහ, අංජලී ලියනගේ, උදය කුමාරි, දිනුෂා රාජපතිරණ, වසන්ත විට්ටච්චි, ඩී. බී. ගංගොඩතැන්න, ගාමිණි ජයලත්, දිමුතු චින්තක, අනෝමා පෙරේරා ඇතුළු තවත් හුඟාක් අය.
‘ඇඩ්‍රස් නෑ’ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය ජැක්සන් ඇන්තනී ගෙන්. නිෂ්පාදනය ‘ජනිත ෆිල්ම්ස්’ වෙනුවෙන් ජනිත මාරසිංහ ගෙන්.

No comments:

Post a Comment