මම දැන් ගනුදෙනු කරන්නේ දෙවියන්ගේ ආභරණත් එක්ක
* එහෙම නේද?
මොකද නැත්තේ. කියන්න නම් දේවල් ගොඩයි. මං මුලින්ම මගෙ කලඑළි මංගල්‍යය ගැන කියන්නම් කෝ. මං පුංචි කාලේ ඉඳලා හරිම ආසයි නර්තනයට. පාසලෙන් අයින්වුණායින් පසුවත් ඒ විෂය ඉගෙන ගන්න එක අත හැරියේ නැහැ. මේ වෙනකොට ස්වර්ණ සිරිනාම මගේ ඇදුරුතුමිය යටතේ මං බොහෝ කාලයක් නර්තනය හැදෑරුවා. ඉතින් එතුමිය යටතේ සිටි මා ඇතුළු සිසුන් 29 දෙනෙක් එදිනට කලඑළි බසිනවා.
* කොහෙද එම සුබ කටයුත්ත සිද්ධ වෙන්නේ?
බෙල්ලන්විල රජමහා විහාරයේ. අපි කලින් දවසෙයි පන්සලට යන්නේ. පාන්දර හතරෙ ඉඳලා චාරිත්‍රානුකූලව වතාවත් සිද්ධ වෙනවා.
* කලඑළි මංගල්‍යය එහෙමත් නැත්නම් පාහිම්පත් මංගල්‍යය කියලා කියන්නේ ගැහැනු ළමයකුට ඉතා වටිනා අවස්ථාවක් නේද?
අනිවාර්යයෙන්ම, ඒක හරියට ගැහැනු ළමයකුගේ විවාහය හා සමානවම වටිනවා. මං කිව්වා වගේ ඒ චාරිත්‍රානුකූල වතාවත් සිද්ධවෙන්නේ නැකතට. ආරාධනා පත්‍රය පවා. එදාට මගේ නෑදෑයෝ මගෙ හිත මිතුරන් ඔක්කොම එනවා මට සුබ පතන්න. කලඑළි මංගල්‍යය උඩරට නර්තන සම්ප්‍රදායේ එන අංගයක්. අපි එදින ගනුදෙනු කරන්නේ දෙවියන්ගේ ආභරණත් එක්කයි. මෙයට ශීර්ෂාභරණ පැලඳවීම කියලත් කියනවා. මෙයින් පසුව කල එළියට බහින අය විෂයෙන් සම්පූර්ණයි.
* සාමාන්‍යයෙන් මේ අවස්ථාවට සහභාගි වෙන්න කලින් පේ වෙන්නත් ඕනා?
ඔව්, මාස ගණනාවක් මාත් පේ වුණා. මස් මාළු තියා බිත්තරයක්වත් කෑවෙ නෑ. මළගෙවල්වලට ගියෙත් නෑ. සුදුපාට තමයි බොහෝවිට ඇන්දේ.
* ලබන සෙනසුරාදායින් පසුව ඔබගේ ජීවිතය නර්තනයට පමණක් වෙන්වේවිද?
බලමු, නර්තන ගුරුවරියක් වශයෙන් ඉදිරියට එන්නත් හිතාගෙන ඉන්නවා.
* මං ඊළඟට අහන්නේ ඔබ ලද සම්මානය පිළිබඳව?
පුදුමයි.
* ඒ කිව්වේ?
මට තවම හිතාගන්න බැහැ මං හොඳම නිළිය වුණා කියලා.
* මටත් ආරංචියි?
මොනවද.
* ඔබ සම්මානය අරගෙන ගෙදර ගිය වෙලාවේ ඉඳලා දින කිහිපයක් යනකම් වාඩිවෙච්ච තැන්වල, බලාගත්තු අතේ බලාගෙන කල්පනා කරනවා කියලා?
කවුද අප්පොච්චියේ ඒක කිව්වේ. ඔය කතාව හරියටම හරි. මං ගෙදර කොතනද ඉඳගන්නේ, එතන ඉඳගෙන මං කල්පනා කරන්නේ ලැබුණු සම්මානය ගැනමයි. තවමත් මගෙ හිත ගැහෙනවා වගේ.
* දැන් ඔබ සම්මානනීය නිළියක්?
ඒකනම් එහෙම තමයි. සම්මානයක් ලැබුණයි කියලා මං ඉදිමෙන්නේ නැහැ.
එහෙම වුණා නම් වැඩිදුර යන්නත් බැහැ.
* මොනරතැන්න වෙනුවෙන් නේද මේ සම්මානය?
ඔව්, ඒකෙ මං හිටියේ සත්‍ය කාන්ති කියන චරිතයට. අධ්‍යක්‍ෂ සමන් කුමාර ලියනගේ, සුමින්ද සිරිසේන ඇතුළු නාට්‍ය කණ්ඩායමේ හැමෝම සත්‍යාව ගොඩනගන්න උදවු කළා. මේ සම්මානය ඔවුන්ටත් අයිතියි.
* මොනරතැන්නේ රඟපාද්දිමයි ඔබ ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනට සහභාගි වුණේ. හාත් පසින්ම වෙනස් ලෝකවල් දෙකක්?
සත්‍යා කියනනේ අමු ගැමි චරිතයක්. ඩාන්ස් ස්ටාර් ඩාන්ස් කරද්දී මං වෙස්ටන්. ඒ කාලෙ මගෙ සතිය බෙදිලා තිබුණේ මේ දෙකට විතරයි. ඩාන්ස් ස්ටාර් ඩාන්ස් ඉවර කරලා කුරුණෑගල, මොනරතැන්නෙ ෂූටිංවලට යන්න මං පිටත් වුණේ මගේ හැම ප්‍රශ්නයක්ම කොළඹ තියලා. හරිම ටයඩ් ෂෙඩුල් එකක හිටියේ. ඇත්තම කිව්වොත් සත්‍යාව මං නිරූපණය කළේ රිලැක්ස්ව නොවයි. ඒත් මං ඒ අභියෝගය ජය ගත්තා.
* ඔබ හොඳම නිළිය වෙද්දී ඔබේ අනෙක් අන්තයේ හොඳම නළුවා වුණේ ශි‍්‍රයන්ත මෙන්ඩිස්. මොකද හිතුනේ?
මොනරතැන්නේ මගේ ඇත්ත තාත්තා ශි‍්‍රයන්ත මෙන්ඩිස්. මේක හරියට තාත්තයි, දුවයි ගත්ත සම්මාන දෙකක්. සාමාන්‍යයෙන් ශි‍්‍රයන්ත මහත්මයා වගේ කෙනෙක් එක්ක සම්මානයට පාත්‍රවීම මා ලද භාග්‍යයක්.
* අවසන්කොට මොනවද කියන්න තියෙන්නේ?
සනත් ගුණතිලක මහත්මාව මතක්කළ යුතුයි. ඔහු තමයි මේ ෆීල්ඩ් එකට එන්න මට ගොඩාක් උදවු කළේ.
No comments:
Post a Comment