Friday, January 24, 2014

අපි ලස්සන වෙන්නේ හිත ලස්සන නම් විතරයි

නතාෂා පෙරේරා
නතාෂා මොනවගේ වැඩත් එක්කද මේ දවස්වල ඉන්නේ?
පසුගිය කාලෙ මම විශේෂ කලා කටයුත්තක නම් යෙදුණේ නෑ. පසුගිය කාලෙම මම ගත කළේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක. මම මගේ නීති උපාධියේ වැඩ කටයුතු අවසන් කළේ පසුගිය අවුරුද්දේ. මේ දිනවල මම, නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙන්න පෙර කළ යුතු විභාගවලට සූදානම් වෙනවා. ඒ ව‍ාගේම ළඟදීම මගේ අලුත්ම ගීතයක් පටිගත කරල රූපරචනා කරල රසික රසිකාවියන් වෙත ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
ඇයි ඔබ නීතිය හදාරන්න හිතුවේ?
මම පුංචි කාලේ ආශා කළේ වෛද්‍යවරියක් වෙන්න. නමුත් ඒ ආශාව කාලයක් ගත වන විට වෙනස්වුණා. නීතිය හදාරන්න මම තීරණය කළේ ඒ විෂයට ඇතිවුණු ආශාවක් නිසා. මම විශ්වාස කරන දේ තමයි, කලා ක්ෂේත්‍රයේ මොන යම් ක්ෂේත්‍රයක නිරත වුවත් හොඳ අධ්‍යාපනයක් ලබා තිබීම අවශ්‍යයි කියන එක.
අනාගතයේ ඔබ පූර්ණකාලීනව යෙදෙන්නේ නීති වෘත්තියේද?
මම හරිම ආශාවෙන් ඉන්නේ නීති වෘත්තියේ යෙදෙන්න. එහෙම වුණත් මම ගීත ගායනය, රංගනය වැනි කලා කටයුතුවල හැමදාම නිරත වෙනවා. මොකද නතාෂා පෙරේරාව මේ ලෝකය හඳුනාගත්තේ කලා ශිල්පිනියක් විදියටනෙ. කවදාවත් මම කලාව අතහරින්නේ නෑ.
පසුගිය කාලේ ඔබට රංගනයට ආරාධනා ලැබුණේ නැතිද?
ආරාධනා ගණනාවක්ම ලැබුණා. නමුත් ඒ හැම ආරාධනයක්ම මට ප්‍රතික්ෂේප කරන්න සිදුවුණේ, මගේ අධ්‍යාපන කටයුතු නිසා. රංගනය ගැන සඳහන් කරන විට ටෙලිනාට්‍යයක වුණත් චිත්‍රපටයක වුණත් රූපගත කිරීම්වලට විශාල කාලයක් කැප කරන්න ඕන. නමුත් එලෙස කැප කළ හැකි කාලයක් පසුගිය වකවානුවේ මට තිබුණේ නෑ. මට ආරාධනා කළ මම ප්‍රතික්ෂේප කළ චරිත රඟපෑ නිළියන් ඔවුන්් ඒ චරිත හොඳින් කළ නිසා අද රංගන ක්ෂේත්‍රයේ ගොඩක් දුර ගිහින් තියෙනවා. ඉදිරියේදී මම මගේ කා‍ලයෙන් වැඩි කොටසක් රංගන සහ ගායනා කටයුතුවලට යොදවන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ ඔබේ ගීත එකතුවක් එළිදැක්වූවා නේද?
මම ඒ ගීත ඇල්බමය ඉදිරිපත් කරල ගොඩක් කල්. නමුත් ඒ ගැන තවමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම මම එඩ්වඩ් ජයකොඩි මාමා එක්ක ගායනා කළ “සුළඟක් වී මං එනවා” ගීතයට අවුරුදු 11ක් පමණ ගත වෙලත් ගොඩක් දෙනෙක් ආශා කරනවා. අදත් මාව හඳුන්වන්නේ “සුළඟක් වී මං එනවා” ගීතය ගායනා කළ නතාෂා කියලයි.
ඔබ ඔබේ රූපය හොඳින් පවත්වාගෙන යන්න විශේෂයෙන් උනන්දු වෙනවද?
නැහැ. මගේ බාහිර පෙනුම පවත්වාගෙන යන්න මම විශේෂ කිසිම දෙයක් කරන්නේ නෑ. මේ වනතෙක් මම ව්‍යායාම කරන්නවත් පෙලඹිලා නෑ. හැබැයි ඉදිරියේදී නම් ව්‍යායාම කරන්න හිතාගෙන ඉන්නවා. මම විශ්වාස කරන විදියට කෙනෙකුගේ බාහිර පෙනුම ලස්සන වෙන්නේ හිත ලස්සන වුණොත් විතරයි. හිත නිතරම දුකෙන් නම්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හිතේ තියෙනවා නම් බාහිර පෙනුමත් අවලස්සන වෙනවා. සමාජයේ කාටත් උදව් කරගෙන කාටවත් ඊර්ෂ්‍යා නොකර හිත සතුටින් තබාගෙන ඉන්නවා නම් බාහිර පෙනුම ලස්සන කරගන්න මේකප් කරන්න ඕන නැහැ.
ඔබ ජනප්‍රිය ගීත කීපයකම රූප රචනාවලට දායක වෙලා තියෙනවා නේද?
ඔව්. මම ගීත කීපයකට රූප රචනාවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ බොහොමයක් ගීතවලට මම ගායනයෙන් ද සහාය වෙලා තියෙනවා. මගේම තනි ගීතවලට වඩා මම යුග ගායනයෙන් අනෙක් අයගේ ගීතවලට දායක වෙලා තියෙනවා. රිහාන්ගේ ‘යායක පායනා’ ගීතයටත්, ලහිරු පෙරේරාගේ ‘සුදු ගවුමේ’ වැනි ගීවලටත්, ජනප්‍රිය යොවුන් ගායකයින් වන ඉරාජ්, රනිඳු, හිරාන් වැනි අයගේ නිර්මාණවලටත් මම දායක වෙලා තියෙනවා.
ප්‍රේක්ෂකයින් දක්වන ආදරය ගැන ඔබට මොනවද හිතෙන්නේ?
කලාකරුවකුට ලැබෙන ලොකුම සතුට තමයි රසික රසිකාවන් දක්වන ආදරය ගෞරවය. කලාකරුවෙක් කියන්නෙ සමාජයේ පොදු වස්තුවක්. ඒ නිසා තමන්ට හිතවත්කමක් පෙන්වන තමන් එක්ක කතා කරන්න කැමැති රසික රසිකාවියන් සමඟ කතාබහ කිරීම කලාකරුවන්ගේ යුතුකමක් කියලයි මම හිතන්නේ. ගොඩක් දෙනෙක් හිතනව මම ආඩම්බර කෙනෙක් කියල. මාව ඇසුරු කරන අය හොඳින්ම දන්නව ඒක එහෙම නොවන බව. මාත් එක්ක හිනාවෙන අය එක්ක හිනාවෙන්නත් මාත් එක්ක කතා කරන අය එක්ක කතාකරන්නත් මම හැමවිටම උත්සාහ කරනවා.
ඔබේ අනාගත සහකරුවා පිළිබඳවත් සඳහන් කරන්න...
ඒ ගැන මම ඉදිරියේදී කියන්නම්.
ඔබ විලාසිතාවලට කෙතරම් යොමු වුණු කෙනෙක්ද?
මම ඇඳුම් විලාසිතාවලට නම් එතරම් යොමුවුණු කෙනෙක් නෙමෙයි. හැබැයි මම ලස්සනට අඳින්න ආසයි. කවුරුහරි හොඳ විලාසිතාවක් කරල තිබුණොත් ඒ දිහා බලල සතුටුවෙන්න මට පුළුවන්. මම විලාසිතා කරන්නෙ මගෙ කොණ්ඩෙට. සමහර කාලෙකට මම කොණ්ඩෙ පාට කරනව. සමහර කාලෙකට කොණ්ඩෙ කොටට කපනවා. සමහර කාලෙකට කර්ල් කරනවා.
ඕපාදූප වෙබ් අඩවිවල පළවන පුවත් ගැන ඔබට මොනවද හිතෙන්නේ?
මා පිළිබඳ විස්තරත් ඇතැම් අවස්ථාවල ඔය වෙබ් අ‍ඩවිවල පළවෙලා තිබුණා. මම ඒවාට කලබල වුණේ නෑ. මම ඒවායින් හිත රිදවාගන්නේ නෑ. කොයිතරම් සත්‍ය දෙයක් වුණත්, කොයිතරම් බොරු දෙයක් වුණත් වෙබ් සයිට් එකක ගිහින් සතියක් යන විට ඒක මිනිසුන්ට අමතක වෙලා යනවා. මම ඔය දේවල් දිහා බලන්නේ හරිම උපේක්ෂාවෙන්.
ඔබ නිවේදන කටයුතුත් කරනවා‍ නේද?


ගායිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට ආව කාලෙ ඉඳලම මම රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන්වලට නිවේදනයෙන් දායක වුණා. විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නේ මම හරිම ආශාවෙන්. මේ වන විටත් මම දෙරණ නාළිකාවේ ‘විවාහ’ වැඩසටහන ඉදිරිපත් කරනවා.

No comments:

Post a Comment