Sunday, January 26, 2014

තමා ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු ටෙලි නාට්‍යයෙන්ම හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූවාය. ඇය යොවුන් රංගන ශිල්පිනි මේනකා පීරිස්. මේනකා දක්ෂ නර්තන ශිල්පිනියක ද වන්නීය. අද අප හමුවන තරුව ඇයයි
* පසුගියදා පැවැත්වුණු රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය හිමිවුණේ ඔබට. ඒ සතුට දැන් ඔබට දැ‍‍ෙනන්නේ කොහොමද? 
ඒ සතුට වචනවලට හරවාගන්න අමාරුයි. සම්මාන උලෙළ පැවැත්විලා දින කීපයක් ගෙවිලා තිබුණත් තවම මට ඒ සිදුවීම පුදුමයක් වගේ. ඒක විස්තර කළ නොහැකි අන්දමේ අහිංසක නිහතමානී සතුටක්.
* මේ ඔබ ලැබූ පළමු පළමු සම්මානය ද?
ඔව්. මේ සම්මානය මගේ අතට ලැබු‍ණත් එහි ගෞරවය, ගොඩක් දෙනෙකුට හිමිවෙන්න ඕන. විශේෂයෙන්ම බුද්ධික කුලසේකර මහත්මයට, ‘මොනරතැන්න’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සමන් කුමාර ලියනගේ අයියට. 'මොනරතැන්නේ ' ‘සත්‍යා නිර්මාණය කරගන්න මට උදව් කළ සුමින්ද අන්කල්ට (සුමින්ද සිරිසේන), ශ්‍රියන්ත අන්කල්ට (ශ්‍රියන්ත මෙන්ඩිස්) වගේ ම ‘මොනරතැන්නේ’ වැඩකළ සියලුම දෙනාට.
*මේ සම්මානය ගන්න ඔබ වේදිකාවට යද්දි ඔබට ඇතිවුණු හැඟීම විස්තර කරන්න.
ඇත්තටම ඒ හැඟීම මට විස්තර කරන්න බැහැ. මගෙ නම හොඳම නිළියට නිර්දේශ වෙලා තියෙන බව නම් කලින් දැනගන්න ලැබුණා. නමුත් මම මොහොතකටවත් හිතුවේ නෑ ඒ අතරින් හොඳම නිළිය මම වෙයි කියලා. හොඳම නිළිය මමය කියලා වේදිකාවෙන් කියවෙත්දිත් මම විනාඩි කීපයක් පුටුවේ ඉඳගෙනම හිටියා වගේ මතකයි. ඒ‍ වෙලාවෙ මගෙ ළඟ හිටි‍ෙය අම්මයි මල්ලියි වේදිකාවට ගොඩවෙද්දි මගෙ දෑස්වල කඳුළු පිරිලා. සතුට, සිනහව වගේ ම හිත ඇතුළෙන් පිරිලා විස්තර කරන්න බැරි හැඟීමකුත් එක්කයි මම වේදිකාවට ගියේ. වේදිකාවට ගොඩවූයේ කොහොමද කියන එක තාම මට මතක නෑ. වේදිකාවේ තත්පර ගණනක් හිටියේ කොහොමද කියලවත් මට මතක නෑ. ඒ හැමදේම මට හීනයක් වගේ.
*ඔබට හොඳම සුබ පැතුම ලැබුණේ කාගෙන්ද?
දෙමවුපියන්ගෙන්. මට මුලින්ම සුබ පැතුවේ මගේ අම්මා. ඊළඟට මගේ මල්ලි. සම්මාන උලෙළට සහභාගිවෙලා හිටිය අපේ ර‍ටේ කලා ක්ෂේත්‍රයේ දැවැන්තයින් වගේ ම නවකයිනුත් මට හරිම උණුසුම් විදියට සුබ පැතුවා. ඒ වගේම මගේ රසික රසිකාවියන් සිය ගණනක් මට මේ වනවිට දුරකතනයෙන් සුබපතලා තියෙනවා. මේ සම්මානය නිසා මට දැනුණු සතුට වගේම සිය දහස් ගුණයක සතුටක් මගේ දෙමවුපියන්ට දැනෙනවා ඇති කියල මම හිතනවා.
* ‘මොනරතැන්න’ රූපගතකිරීම් කළ කාලය සුන්දරද?
හරිම සුන්දර කාලයක්. ඒ වගේම දුෂ්කර කාලයක්. ‘මොනරතැන්න’ රූපගතකිරීම් කළේ කුරුණෑගල ප්‍රදේශයේ. ඒ දවස්වල මම ස්වර්ණවාහිනියේ “Dance Star dance” වැඩසටහනටත් සහභාගි වෙමින් සිටියා. මේ හේතු දෙක නිසා මම සති ගණනාවක් තිස්සේම සතියට දවස් 4 ක් කුරුණෑගලත් දවස් 3 ක් කොළඹත් ගත කළා. අක්කර ගණනක් ඈතට තියෙන කළුගල් මුදුන්වල මහදවල් 12 ට විතර අපි රූපගත කිරීම් කළා. ඒ අව්වට අපිව පිච්චේවිද අපිව කළුවේවිද කියලා අපි හිතුවේ නෑ. හැමෝම වැඩ කළේ එක පවුලේ සහෝදර පිරිසක් වගේ.
* මෙවැනි සම්මානයක් මෙච්චර ඉක්මනට ඔබට ලැබේවි කියලා ඔබ හිතුවද?
නැහැ කොහෙත්ම නෑ. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු තුන හමාරක් විතර ඇති. ක්ෂේත්‍රයට ඇවිත් වැඩ කරගෙන යන විට මටත් හිතුන කවදා හරි හොඳම නිළියට හිමි සම්මානය මටත් ගන්න තිබුණොත් කොච්චර දෙයක් ද කියලා. නමුත් ඒ හීනය මෙච්චර ඉක්මනට හැබෑවෙයි කියල මට හිතුනේ නෑ. මේ වනවිට මම විශාල නිර්මාණ සංඛ්‍යාවක රඟපාලා නැහැ. මම කළ දේවල් උපරිමයෙන් කරන්න මම හැමවෙලාවෙම උත්සාහ කළා.
* ඔබ සිනමාවටත් දායක වෙලා තියෙනවද?
ඔව්. චිත්‍රපට කීපයකටම දායකවෙලා තියෙනවා. ඒ ක්ලිටස් මෙන්ඩිස්ගේ “පරපුර” අශෝක අතාවුදහෙට්ටිගේ “තුම්පත් රෑන”, රන්ජන් රාමනායගේ “කිව්වද නහී” චිත්‍රපට.
*ඉදිරියේදී විකාශය වෙන්න තියෙන ඔබ රඟපෑ ටෙලි නිර්මාණ මොනවාද?
ඓතිහාසික කතාවක් ඇසුරින් නිර්මාණය වුණු “සේලා” සරත් ධර්මසිරිගේ “බණ්ඩාර දෙයියෝ”, සමන් කුමාර ලියනගේගේ “සිදම්බරම්” වැනි ටෙලිනාට්‍ය කීපයකටම දායක වෙලා තියෙනවා.
*ඔබ වෘත්තීය ලෙස තෝරාගෙන තියෙන්නේ රංගනයද?
මේ කාලේ මම මගේ කාලය යොදවන්නේ රංගනයට. ඒ නිසා වෘත්තීය රංගනය කිව්වොත් හරි. මොකද වෙනත් රැකියාවක යෙදෙන්න කාලයක් නැහැ. හැබැයි අපේ රටේ රංගනය වෘත්තීය ලෙස ‍‍තෝරාගන්න අමාරු නිසා ඉදිරියේදි මම තවත් දෙයකට යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
‍*කොහොමද ඔබේ නර්තන ජීවිතය?
නර්තනය තමා මගේ ජීවිතය. උඩරට නර්තනය පැත්තෙන් ගත්තම යන්න පුළුවන් උපරිම තැනක් තමයි කල එළි මංගල්‍යය, එහෙම නැතිනම් ශීර්ෂාභරණ පැළඳීමේ මංගල්‍යය. මගේ කල එළි මංගල්‍ය මෙම 25 වැනිදා බෙල්ලන්විල විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

No comments:

Post a Comment